Tuesday, November 17, 2015

(06) සයුරක් නොදුටු ගඟුලක් - සුනිල් එදිරිසිංහ


ගීත සාහිත්යයේ සුභාවිත ගීතයද ජනප්රිය ගීතයද ඇතැම් විට එකම මාවතක ගමන් කරයි. නමුත් මේවා කිසි විටෙකත් එක මාවතකම යන බව ඉන් කිව නොහැක. සුනිල් එදිරිසිංහයන්ගේ සයුරක් නොදුටු ගඟුලක් ගීතය සහ රූකාන්ත ගුණතිලකගේ ළඳේ මුලා වී ගියා නම් ගීතය උදාහරණයට ගනිමි. ගීත දෙකටම පාදක වී ඇත්තේ දෙදරා ගිය ආදරයකි. නමුත් එය රසිකයා වෙත ඉදිරිපත් කරන්නේ ආකාර දෙකකිනි. ඉතා ගැඹුරින් බලා සාධාරණීයකරනය කරන සුනිල් එදිරිසිංහයන් කියන්නේ,

සයුරක් නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ



සත්තකින්ම ගඟුල සැම විටම සොයා යනුයේ මහා සාගරයයි. සාගරය නොවන්නට ගංගාව කොතැනක නතර වේද? ඇතැම් විට එසේ වී නම් ගඟුල නොගලා තිබෙන්නට හැක. එසේම සයුර සැම විටම උත්සාහ කරන්නේ වෙරළ කරා පැමිණීමටය. නමුදු වෙරළක් නොතිබෙන්නට සයුර මෙසේ හඬයිද? නමුදු ගීත රචකයා තවම කතාවේ හරයට පැමිණ නොමැත. එහෙත් රූකාන්ත ගුණතිලකගේ ගීතය ගත් කල එය මෙසේය.

ළඳේ මුලා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාද වී දැන්

මුල් පදයෙන්ම සිදුවීම වැටහේ. තම පෙම්වතා හැරදා වෙනකෙකු හා ගොස් මුලා වී නැවත පෙර පෙම්වතා කරා පැමිණි පෙම්වතියකි. නමුත් පෙම්වතා ඇයව ප්රතික්ෂේප කරයි. කතාවෙන් බාගයක්ම හමාරය.
සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයේ කතාවකට වඩා ඇත්තේ උපදේශයකි.

කඳුලක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සත්තකින්ම සිනාසීමට හැක්කේ හැඟීම් ඇත්තවුන්ටය. කඳුළක් හෙළනුයේ දුක නම් වූ හැඟීම ඇති වූ විටකය. එනම් සිතට හැඟීමක් දැනී ඇත. එසේම සතුටක් ඇති වන්නේද හැඟීම් පිළිබඳ අවබෝධයක් ඇත්තවුන්ටය. ඔහු කියන්නේ බලාපොරොත්තු නොවිය හැකි දේවල් බලාපොරොත්තු නොවිය හැකි අයගෙන් නොපැතිය යුතු බවය. එසේම කවදාවත් පෙමක් බිඳී ගිය කල නැවත එහි සෙනෙහස සෙවීමෙන් ඵලක් නැත. මෙයම රූකාන්ත ගුණතිලක ඉදිරිපත් කරන්නේ මෙසේය.

පර වුණාම මලේ සුවඳ නෑ
බොර වුණාම ජලේ පැහැය නෑ
බිඳුනු පෙමක නැවුම් රසේ නෑ
හැර ගියාට මා තනිවුන් නෑ

පර වුණාම මලේ සුවඳ ගිලිහී යන්නාක් මෙන්, බොර වුණාම ජලේ පැහැදිලි පැහැය නැති වන්නාක් මෙන් බිඳී ගිය කල පෙමක තිබුණු නැවුම් රසයද ගිලිහී යයි. කෙතරම් උත්සාහ කළද පෙර සේ සිටිය නොහැක. ඔබ මා හැර ගියද මා තනි වූයේ නැත.

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

පෙර කී ලෙසම ඔහු කියන්නේ බලාපොරොත්තු නොවිය හැකි දේවල් බලාපොරොත්තු නොවිය හැකි අයගෙන් නොපැතිය යුතු බවය. රූකාන්ත ගුණතිලක නම් කියන්නේ වෙනත් දෙයකි.

මැණිකෙ අගය කණා දන්නෙ නෑ
නමුත් අගය බාල වෙන්නෙ නෑ
පළුදු බඳුන ඕන වෙන්නෙ නෑ
වැරදුනාම හරී කිවුවෙ නෑ

කණාට මැණිකක් පය වැදුනත් ඉන් ඵලක් නැත. එනමුදු එහි අගය බාල වන්නේ නැත...ආදරයේ අරුත දන්නේ සැබෑ පෙම්වතුන්ය. රැවටිලිකාරයන් සිටියද සැබෑ ආදරය සදා පවතියි...












1 comment: