Wednesday, April 13, 2016

(40) ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක



දස මසක් කුසේ හොවා හිද මෙලොවට බිහිකර මා වඩන්නට නොවිදි දුකක් නැත. දිවිකතරේ පියමනින මා හට සොදුරු ඉම් සොයා දෙන්නට ඇය නොකළ කැප කිරීමක් නැත. මහමෙරක් වන් බර දිවිය පුරා උසුලමින් සිය කඳුල හද ගැස්ම, සුසුම් පොද මා වෙනුවෙන් ස්නේහයෙන් කැප කළ ඇයට මම ණයගැති වෙමි. රජුන් විරුවන් වී නෙක ඉසව් හී ජයකෙළි නංවන්නට පෙර මං බැලූ සිය දූ පුතුන්ගේ ගමනට සවිබල දෙමින් තම නිවන් මග පමා කළ ජාතියේ බෝසත් අම්මාවරුන් ගැන ඒ උණුසුමේ වැඩුනා වූ දූ පුතුන්ගේ හඬිනි කියවන හෝරාව .ආදරණීය අම්මා.

ලෝකයේ තිබෙන්නා වටිනාම වස්තුව වන්නේ මව යැයි කීම අතිශෝක්තියක් නොවන්නේය. එකී මවකගේ ආදරයට සමකළ හැකි අන් කිසිවක් මිහිපිට නොමැත.එම දාරක පෙම ගැන කියන්නා වූ අතිශය රමණීය ගීතයකි මෙය.තම මව මතු බුදුවන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.ඒ විශ්වාසයම මෙහි කථකයා තුළත් දැඩිව තිබේ.අද තමා ඇයගේ සුළැගිල්ලේ එල්ලී එන්නාක් මෙන් ඇය මතු බුදුවන දිනයේදීද එලෙසින්ම එනබව ඔහු කියමින් ඉඟි කරනුයේ එයයි.


ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිලේ එල්ලී




නින්දට යන කථකයාට තම මව ගයනා නැළවිළි ගී දිව්ය මන්තරයන් බඳුය.කථකයාට නින්ද ගෙන එන්නේ ඒ දිව්ය මන්තරයි.මවක් යනු තම ජීවිතයෙන් තවත් ජීවිතයකට උපත දෙන අයෙක් බව කථකයා සිහිපත් කරනුයේ තම මව පිළිබඳ තිබෙන්නා වූ දැඩි සෙනෙහස පෙරදැඩි කරගෙනය.එසේ උපත දී නොනවතින ඈ ලේ කිරි කොට පොවා ඇතිදැඩි කරන්නේ තමන් තුළ තිබෙන්නා වූ දාරක ප්රේමය නිසාය.


සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා


දරුවකුගේ අත්,පා ආදී ශරීරාංග කුඩාකාලයේදී හැඩගන්වන බව මා අසා තිබේ.කථකයාගේ මවද ඔහුව තුරුලට ගෙන ඔහුගේ අත්,පා හැඩ ගැන් වූ බව කථකයා සිහිපත් කරයි.මවගේ කිරි සුවඳ සිහිවන බව කීමෙන් මව පිළිබද තමා තුළ තිබෙන්නා වූ දැඩි මතකය ඉගි කරයි.දිනෙන් දින සෙනෙහස ලබා දී තමා ඇති දැඩි කළ මව පිළිබද ඔහු ගයනා ගුණ ගීය සමස්ත මවුවරුන් වෙනුවෙන්ම ගැයෙනා එකකි.


තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා


.මෙම ගීතය රචනා කරන ලද්දේ ප්රතිභාපූර්ණ ගීත රවකයෙකු වන ප්රේමකීර්ති ද අල්විස් මහතා විසිනි.මෙහි සංගීතය හා ගායනය මහා සංගීතවේදී වික්ටර් රත්නායකයන් විසිනි. මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් මහගමසේතරයන් ප්රබුද්ධ පද්ය සංග්රහයේ අම්මා වෙනුවෙන් ගියා තැබූ පද්ය පංතියද දැක්වීම සුදුසු යැයි සිතුණු හෙයින් එයද මෙසේ සටහන් කරමි.


අඬන විට මා කුඩා අවදියෙහි බඩගිනි ව
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබ ය.
උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබ ය.
ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය.




No comments:

Post a Comment